යුද්ධයට යන්නට පෙර දේවපතිරාජ ඇමති කාහිංගල පුදබිමේ පූජාවක් කරයි

යුද්ධයට යන්නට පෙර දේවපතිරාජ ඇමති කාහිංගල පුදබිමේ පූජාවක් කරයි ක්‍රි.ව. 1236 සහ 1270 අතර කාල වකවානුව ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ඉතා වැදගත් කාලපරිච්ඡේදයක් ලෙස හැඳින්විය හැකිය. එයට හේතුව දඹදෙණිය පුරවරය රාජධානිය කර ගනිමින් ලාංකේය පාලනය ගෙන ගිය දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගේ පාලන සමය එය වීමයි. දෙවැනි පැරකුම් රජ දවස ලාංකේය ඉතිහාසයේ සෑම අතෙකින්ම දියුණුවක් ලබමින් සිටි සමයක් වූ අතර පසුකාලීනව එම සශි්‍රකත්වය වනසමින් ඉන්දීය පරසතුරෝ දෙපිරිසක් ලාංකේය රාජ්‍යය උදුරා ගැනීමට නොමඳ වෙහෙසක් දැරූහ. එනම් කාලිංග මාඝ සහ චන්ද්‍රභාණු නමැති සටන්කාමීන් දෙදෙනා බලතණ්හාව මත ලාංකිකයන්ගේ උරුමය සුරතට ගැනීමට යුද ගිනි දැල් දේශය පුරා පැතිරවීමට කටයුතු කරමින් සිටියහ. කාලිංග මාඝ යුද්ධයෙන් පීඩාවට පත්ව සිටි දෙවැනි පැරකුම් නිරිඳුන් හට සවියක් වෙමින් ඔවුන්ගෙන් ශ්‍රී ලංකාද්වීපය මුදා ගැනීමට දේවපතිරාජ නමැති අමාත්‍යවරයෙක් ඉදිරිපත් විය. දෙවැනි පැරකුම් නිරිඳුන් සේම රටවැසියාද අතිශය පුදුමයට සහ සංතෘෂ්ටියට පත් කරමින් දේව පතිරාජ අමාත්‍යවරයා සතුරන් පරාජය කොට, ආක්‍රමණයට ලක්වෙමින් තිබූ විශාල භූමි ප්‍රදේශයක් යළිත් ලක් වැසියාට හිමිකර දීමට කටයුතු කළේය. එයින් සතුටට පත් රජතුමා දේවපතිරාජ ඇමැතිවරයා කෙරෙහි පැහැදී ඔහුට පාලනය කිරීම සඳහා දක්ෂිණ රාජ්‍යයේ කළුගංතොට සිට කතරගම කුඹුක්කන් ඔය දක්වා වූ ප්‍රදේශය පවරා දුන්නේ එයට තුටු පඬුරක් ලෙසිනි. දේවපතිරාජ අමාත්‍යවරයාගේ මෙම විශ්මිත ආක්‍රමණිකයන් පරාජය කිරීමේ අපූරු පුවත මහාවංසය, පූජාවලිය සහ සිදත් සඟරාව යන ඓතිහාසික පුස්ථකයන්හිද සඳහන් වේ. යුද කාලීන රජවරුන්ගේ ඇමැතිවරුන් අතර දෙවැනි පැරකුම් රජුගේ ඇමැතියකු වූ දේව පතිරාජයන් ලංකා ඉතිහාසයේ නොමැකෙන නාම අතරට එක් වූයේ පරසතුරන්ගේ ග්‍රහණයෙන් ශ්‍රී ලංකාද්වීපය මුදා ගැනීමට දැක්වූ වීර බල පරාක්‍රමය හේතුවෙනි. එතුමන් පිළිබඳ ලියැවුණු පැරැණි සාහිත්‍ය ග්‍රන්ථ පිළිබඳ අධ්‍යයනය කිරීමේදී දේවපතිරාජ ඇමැතිවරයා සිය යුද කටයුතු සිදු කිරීමට පෙර දක්ෂිණ දේශයේ පිහිටා ඇති ගුප්ත හාස්කම්වලින් පිරි පුදබිමක් ඇසුරු කොට ඇති බව සඳහන් වේ. දේවපතිරාජයන් සිය යුද කටයුතු කිරීමට පෙර පූජා පැවැත්වූ එම පුදබිම සොයා යෑමට අපි තීරණය කළෙමු. සියවස් ගණනාවකට පමණ පෙර පෞරාණික එම පුදබිම පිහිටා ඇත්තේ දේවපතිරාජ ඇමැතිවරයාගේ සොහොන් කොත පිහිටා ඇති දක්ෂිණ දේශයේ කොස්ගොඩ ග්‍රාමයට යාබදව පිහිටි උෟරගස්මංහන්දිය නම් ග්‍රාමයේය. විවිධ ගුප්ත හාස්කම්වලින් පිරිපුන්ව ඇති එම පුදබිම වර්තමානයෙහි "කාහිංගල පුදබිම' නමින් ව්‍යවහාර කරනු ලබයි. කාහිංගල පුදබිම ඇසුරු කරමින් දේවපතිරාජ ඇමැතිවරයා විවිධ පූජා කටයුතු සිදු කර ඇති බවද ඔහු යුද කටයුතුවලට යෑමට පෙර මෙම පූජා භූමියට අවුත් වන්දනාමාන සිදු කොට පූජා පවත්වා ඇති බවටද එම ගම්මානයෙහි ජනප්‍රවාදයන්හි පවතී. හෙතෙම යුදයෙන් ජයගත් පසුව මෙම පුදබිමට බොහෝ සේ ගෞරව බුහුමන් සැලකිලි දක්වා ඇති බවද ජනප්‍රවාදයකි. එය තහවුරු කිරීමට කදිම සාධකයක් වන්නේ දේවපතිරාජයන් යුදයෙන් ජයගත් පසුව ඔහුට රජුගෙන් හිමි වූ දක්ෂිණ දේශයේ වෙහෙර විහාර පුදබිම් රාශියක් ඉදිකිරීමට ඔහු කටයුතු කර ඇති බවද මහාවංශයේත් පූජාවලියේත් සඳහන් වීමයි. උෟරගස්මංහන්දිය ප්‍රදේශයෙන් මඳක් ඔබ්බට ගිය විට කයිලත්ත නම් ග්‍රාමයේ පිහිටා ඇති මෙම කාහිංගල පුදබිම ජනශුන්‍ය වූ වනගත ප්‍රදේශයක පිහිටා තිබේ. පුදබිම වෙත අප ගොඩවන විට අවට පරිසරය සහ පුදබිමට අයත් භූමිය පුරාවටම දැනුණේ ගුප්ත නිහැ¾ඩියාවකි. ක්ෂණයකින් නිහඬ බව මකමින් නැඟී ආ සුවිසල් පක්ෂි නාද රැසකින් අප සිතට තරමක තැතිගැන්මක්ද ඇති විය. පුදබිම සිවු කෙළවර විශාල වෘක්ෂයන් කිහිපයක මා වවුලන් දහසකට අධික ප්‍රමාණයක් එල්ලී සිටි එම ගුප්තාන්විත දසුන අප සිත් තුළට තැති ගැන්මක්ද ඇති කිරීමට සමත් විය. පුදබිමට අයත් අක්කර දෙකක පමණ භූමි ප්‍රමාණය තුළ පියමං කළ අපට එහිදී ගතට දැනුණේ දැඩි සිසිලසකි. සත්තකින්ම මේ පූජාභූමියට අයත් භූමි සීමාවෙහි එකදු තුරුලතාවක් හෝ කිසිදු පුද්ගලයකු විසින් විනාශයට පත් නොකිරීම පුදුම සහගතය. වවුලන්ගේත්, වඳුරන්ගේත් ජනාවාස භූමියක් වූ එහි පැවැතියේ දැඩි නිහඬ බවකි. පුදබිමට අයත් නිසංසල වන පෙතේ සිසිලස විඳි අප පූජා භූමියේ ඇතුළතට පිවිසියේ අන්ධකාර භූමියෙහි වූ නිහඬ බවට බාධාවක් නොකරමිනි. කාහිංගල පුදබිමට අයත් භූමියෙහි පියමං කළ අපට පැරැණි බුදු මැඳුරද, එයට යාබදව පිහිටා ඇති සියවස් ගණනකට පෙර ඉදි කරන ලද දේවපතිරාජ ඇමැතිවරයාගෙන් පවා වැඳුම් පිදුම් ලද පහන් පැලෙහි නෂ්ටාවශේෂද දැකගන්නට ලැබිණි. ඉන් ඇතුළතින් පිහිටා ඇත්තේ සියවස් ගණනාවක් ඉපැරැණි අදෘශ්‍යමාන සිදුවීම් රැසකට උරුමකම් කී නා වෘක්ෂයකි. මෙම නා වෘක්ෂය සතුව පැවැති අදෘශ්‍යමාන සිදුවීම් රැගත් කතා කිහිපයක්ම වන බව කාහිංගල පුදබිමේ වත්මන් ප්‍රධාන කපුමහතා වන ටී. විල්ඩන් ගුණසිංහ කපු මහතා අප සමඟ පැවැසුවේය. මෙම පුදබිම හා සබැඳි අතීත හාස්කම් රැගත් සිදුවීම් රාශියකි. වර්තමානයෙහිදී එයට නොදෙවැනි හාස්කම් රාශියක් මෙම භූමිය ඇසුරු කළ පුද්ගලයන් අත් විඳ ඇති බව ඒ පිළිබඳ ගවේෂණයේදී අපට දැනගත හැකි විය. කාහිංගල පුද බිමෙහි සියවසකට පමණ පෙරාතුව පුද පූජා කටයුතු සිදුකර ඇත්තේ බුරුකේසු නමැති භාරතීය යෝගීවරයෙකි. ඔහුගෙන් පසුව දශක කිහිපයක් පුද බිම නිසොල්මන්ව තිබී ඇත්තේ කිසිදු පුද්ගලයකුගේ බලපෑමකින් තොරවය. කිසිවකුත් මෙයට බලපෑම් කිරීමට මැලිකමක් දැක්වීමට හේතුව අතීතයේ පටන්ම පුදබිම සතුව පවත්නා හාස්කම් සහ එසේ බලපෑම් කළ තැනැත්තන්ට අදෘශ්‍යමාන ලෙස ලැබී ඇති අද්භූත දඬුවම් හේතුවෙනි. සුවකළ නොහැකි රෝගවලින් පෙළෙන විශාල රෝගීන් පිරිසක් සුවකළ හැකි බවද විල්ඩන් ගුණසිංහ කපු මහතා පවසයි. එයට එක් හේතු සාධකයක් වී ඇත්තේ පුද භූමිය තුළ ඇති වනයෙහි දශක කිහිපයකට පෙර සිට පැවැත එන ඔෟෂධ වැල්ද පැවැතීමයි. රෝගීන් සුව කිරීම සඳහා භූමියෙහි ඔෟෂධ පමණක් භාවිත කරන බවත් හෙතෙම පැවැසුවේය. සියවසකට අධික පැරැණි නා වෘක්ෂය සේම නුග වෘක්ෂයක්ද පිහිටා ඇති මෙහි මේ වන විට නුග වෘක්ෂය කාලයත් සමඟ නෂ්ටාවශේෂව ගොසිනි. මෙම නා වෘක්ෂය සේම නුග ගස අළලාද ජනප්‍රවාදයේ පවතින අද්භූත සිදුවීම් රාශියක් වන බව ගමෙහි එක් වියපත් මිනිසෙක් අප සමඟ පැවැසුවේය.